Sunday, December 25, 2011

මම බලා සිටිමි.

පෙ.ව. 9.00 - අනර්ඝ නාම පුවරුවක්. " සිරි ලංකා පොලෝසිය". ගාම්භීරයි... උත්කෘෂ්ටයි... ඇඟේ මයිල් කෙලින් වෙනව...
දොරකඩම මේසයක්.... ඒක තනි කුනු ගොඩක්...
තේජාන්විත නිලදරුවෙක්... හැබැයි නිදිමත පාටයි....

මම බලා සිටිමි...

පෙ.ව. 9.10 - " ඇයි ? " රළු හඬක්.
" පැමිනිලි ලියන්නෙ කොතනද ?.. "
"පැමිනිලි ලියන්නෙ.... ම්ම්ම්... මෙතන තමයි.. වාඩිවෙලා ඉන්න... "

මම බලා සිටිමි....

පෙ.ව. 9.20 - ගොඩක් කාර්යබහුලයි වගේ. හැමෝම වැඩ. එහෙ දුවනව මෙහෙ දුවනව... කිහිල්ලෙ ගහගත්ත ෆයිල් මිටි, ලොකු පොත් සහ තව බොහෝ දෑ....

කාකි ඇඳුම හරි හැඩයි නෙ.. පිත්තල බොත්තම් දිලිසෙනව, තරු ගොඩායි.... .... ඒ විතරක්ද ?? දිලිසෙන තට්ටය, ලොකු බඩගෙඩිය, බුරුසුවක් වගේ උඩු රැවුල.... හරිම තේජාන්විතයි...
හරිම හැඩයි, සුකොමලයි... අංගනාවො...
තරුණ අය සිහින් ය... වයසට යත්ම තරබාරු වේ...
උන් එහා මෙහා යන විට නිදිමතේ ඉන්න මහත අංකල්ලාගේ ඇස්ගෙඩි ලොකු වෙයි.. 
එකියක්, අලුතින් සේවයට ආ සෙයකි... දනහිස දක්වා එසවුනු මේස්... දිලිසෙන සපත්තු... පිලිවෙලට පීරූ කොන්ඩය... කෙසඟ සිරුර....

ලතාවට පැමින මේසයක් ලඟ නතර වෙයි... " අයියට බිබික්කන් ඕන ද.. ? "

( අයියා කිව්වාට ඒ මනුස්සයට මේ ලමයගෙ වයසෙ දුවලත් ඉන්නව ඇති. එපා කියයි කියල තමයි බය )

දෙදෙනා සතුටින් බිබික්කන් කයි.

මම බලා සිටිමි...

පෙ.ව. 9.30 - ප්‍රීති වෙසක් සැමරූ තරුණයන් කීප දෙනෙක් පෙර දින රාත්‍රියේ මෙහි නවාතැන් ගෙන ඇත. ඔවුන්ට සෑහෙන්න සලකා ඇති බව පෙනේ. " ප්‍රීති වෙසක් !!! "

මම බලා සිටිමි...




පෙ.ව. 9. 40 - මෙහෙ හුදී ජනයාට සෑහෙන ප්‍රශ්න, බාධක, කම්කටොලු ඇත. මා අද පැමින ඇත්තේ ඒවාට පිලියම් යොදන සුරපුරයකට ! ! !

ගැබිනියක් පැමිනෙයි. තවත් මිනිහෙක් ඇය සමග.
( මුල ටික මට හරියට අහුනේ නැත )
ඇය :- "අනේ සර්, මේ මිනිහ බොරු කියන්නෙ "
ඔහු :- " පිස්සුද සර්, මෙයා දීපු චෙක් දෙකම රිටර්න් උනා.. මට කොහොමහරි මගේ සල්ලි ඕන."
නිලදරුවා :- " පැමිනිල්ලක් දාන එක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ.. ඔය බඩේ ඉන්න දරුව ගැන හිතල වැඩ කරනව..."
ඇය :- " ඒක තමයි සර්... "
( ඒක තමයි නම් මොකටද යකෝ මෙහෙ ආවෙ ?? )

ඔවුන් මොහොතකට එලියට යයි...ගැහැනියක් හා පිරිමියෙක් බැනගන්නා හඬ ඇසෙයි...

මම බලා සිටිමි...

පෙ.ව. 9 .45- ට්‍රීං... ට්‍රීං.... දුරකතනය නාද වෙයි...
" සිරි ලංකා පොලෝසිය. ( කොට්ටාශයේ නම ) "
.......
" ආහ්... අක්කෙ, ඉතින් කොහොමද??? "
.......
" එන්න බැරි උනා අක්කෙ, වැඩ ගොඩ ගැහිල..."
........
" අම්මට ටිකක් අසනීප උනා නෙ.. දැන් හොඳයි"
.......
......
" හැමෝම මතක් කරා කියන්න, අපි එන්නම්කො ඉඩ තියෙන වෙලාවක"
........
........

මම බලා සිටිමි.


පෙ.ව. 9. 50 - " ඔයා ආවෙ පැමිනිල්ලක් දාන්න නේද ? එන්න... "
( පුටුවේ සනීපය නිසා මගේ පශ්චාත් භාගය හිරි වැටී ඇත )

මාගේ ශෝකාලාපය අසා සිටි කාන්තාව එය විශාල පොතක සටහන් කරගන්නා ලදී...
" ඔයාට මේකෙ ලෙටර් එක ගන්න පුලුවන් තව දවස් තුනකින් එන්න.. "

( මම අදහස් දක්වන්නේ නැත )

කොහේදෝ සිට පැමිනි තවත් කාන්තාවක් " කමක් නෑ, දැන් එන්න. ලියුම දෙන්නම් "

වාසනාවක මහත...

මම ඇගේ පසුපස ගියෙමි. විශාල කුටියක් තුලට මා කැඳවාගත් ඇය සියලු විස්තර අසා
" එලියෙන් වාඩි වෙලා ඉන්න. තව ටිකකින් දෙන්නම්" කීවාය.

මම බලා සිටිමි.

මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.... !
" සර්, මම මිනිහෙක්ට සල්ලි වගයක් දුන්න ණයට. මිනිහ ආපහු දෙන්නෙ නෑ. ඊයෙ මගුල් ගෙදරකදි හම්බවෙලා මම සල්ලි ඉල්ලුවම මිනිහ මට ගැහුව. "

" දැන් පැමිනිල්ල දාන්නෙ ගහපු එකටද ? සල්ලි දෙන්නෙ නැති එකටද ?? " බුද්ධිමත් නිලදරුවා විමසයි.
 ( මම හිනා විය යුත්තේ කොහෙන්ද කියා සිතා ගත නොහැකිව අසරන වීමි )

මම බලා සිටිමි

පෙ.ව. 10.05 - හදිසියෙන් මා වෙත පැමිනි ස්ත්‍රයක් " මේ... ඔයා නේද ලියුමක් ගන්න ඉන්නෙ ? "

" ඔව් "

" ආහ්, මෙන්න ඔයාගෙ ලියුම... "

" බොහොම ස්තුතියි "

මම සතුටින් ආපසු ඒමට සැරසුනෙමි.
මා දුටු දසුනින් ඇති වූ ප්‍රීතිය පැවසීමට වදන් නැත. අප වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මාමලාගේ සහ නැන්දලාගේ කැපවීම කොතෙක්ද යන්න මට මනාව පසක් විය....
" නෝටිස් බෝඩ් " කියා තඩි අකුරෙන් කොටා තිබෙන ලෑල්ලක මෙසේ සටහන් වී තිබුනි.

" ඔබ පැමිනි කාරණය මිනිත්තු දහයක් තුල ඉටු නොවන්නේ නම් ස්ථානාධිපති හමුවන්න... "

පිනා ගිය ප්‍රීතියෙන් යුතුව නිවසට පැමිනියෙමි.මක්නිසාද යත් මෙය ආසියාවේ දකුනු කොනේ ආශ්චර්ය වන දිනය වැඩි ඈතක නොවන බැවිනි

 21/5/2011

Thursday, September 22, 2011

හන්දියේ සුදු පටි මාමා

හැමදාමත් උදේට
මම පහුකරගෙන යන...
නිදහස්, සන්සුන්
හන්දිය...

අද මම එනකොට...
යොදුනක් දිග වාහන පෝලිමක්..
නලා හඬ හැම අත...
මොකද වෙලා තියෙන්නෙ ???

දැම්මා ඔළුව එලියට...
බැලුවා හොඳට වටපිට

ආ... පුදුමයක් නෑ
හන්දියෙ පොලිසියෙන් ඉන්නවා...
කටේ ඇති නලාව..
හැම අතට පිඹ පිඹ..
නැති ට්‍රැෆික් මවන...
සොඳුරු සහෘදයා..

Tuesday, September 13, 2011

අපි පුංචි වැඩියි



මේ දවස් වල ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි ඇමෙරිකාවට එල්ල වුනු ත්‍රස්ත ප්‍රහාරයට(11/09/2001) මේ අවුරුද්දෙ දස වසරක් සැපිරෙනව කිඅන එක... ඔය ප්‍රහාරය එල්ල උනේ 2001 සැප්තැම්බර් 11 වෙනිද. ත්‍රස්තවාදීන් විසින් පැහැරගත්ත මගී ගුවන් යාන 4ක් යොදාගෙන මේ ප්‍රහාරය එල්ල වුනේ ඇමරිකාවෙ ප්‍රධානම ගොඩනැගිලි කීපයකට. නිව් යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්තානය සහ වොෂින්ටන්හි පෙන්ටගනය වෙත එල්ල කෙරුනු ගුවන් ප්‍රහාරයෙන් 3000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් උනා... පෙන්ටගනය කියන්නෙ ඇමෙරිකාවෙ දැඩි ආරක්ෂාවක් තියෙන ගොඩනැගිල්ලක් නෙ, නමුත් ඒ ආරක්ෂාවට නොපෙනෙන්න ප්‍රහාරයක් දියත් කරන්න අල්-කයිඩාවට හැකි වුනා.


අහිංසක මිනිස්සු ගොඩක් මැරුනා, කීර්තිමත් රාජ්‍යක ප්‍රධාන ආර්ථික හා ආරක්ෂක මර්මස්තාන විනාශ වුනා, මේවා හොඳ දේවල් නෙමෙයි.

ලෝකයේ කොතැනක මොන ස්වරූපයෙන් තිබුනත් ත්‍රස්ථවාදය සධාරනීකරනය කරන්න බෑ. මොකද මේ ලෝකෙ ඕනම මිනිහෙක්ට නිදහසේ බියෙන් තොරව ජීවත් වීමට අයිතියක් තියෙන නිසා... නමුත් මෙතන පොඩි ගැටලුවක් තියෙනව.. එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් පිලිබඳ ප්‍රඥප්තියෙ සඳහන් වෙන්නෙ මේ ලෝකයේ ජීවත් වෙන සියලුම මිනිසුන් ගැන සහ අනාගතයේ මේ ලොකෙට උපදින්න ඉන්න සියලුම දෙනා ගැන.මානව හිමිකම් තියෙන්නෙ දුප්පත් පොහොසත් අපි හැමෝටම. අපි හැමෝම මිනිස්සු, මේ ලෝකෙ කාගෙවත් පුද්ගලික බූදලයක් නෙමෙයි.


නමුත් වර්තමානයෙ වෙන සමහර සිද්ධි දිහා බැලුවම මේ කාරනය වැටහෙන්නෙ නැති පිරිසක් ඉන්න බව ඕනම කෙනෙකුට පේනව. මම මේ කියන්නෙ වෙන කවුරුවත් ගැන නෙමෙයි. ත්‍රස්ථවාදය නිසා තමන්ගෙ රටේ කීර්තිය, ආර්ථිකය, ජීවිත සියලු දෙයක්ම අහිමි වෙච්ච ජාතියකට වසර 10 ක් ගත වෙනකොට එ හැම දේම අමතක වෙලා... සමහරවිට තාමත් මතක ඇති, නමුත් ඒ තවත් එක සිදුවීමක් විදියට වෙන්න ඇති. මොකද මිනිස්සුන්ට හරි ඉක්මනට දේවල් අමතක වෙනවනෙ.උදාහරන නම් අපේ රටෙත් තියෙනව. මෙතන මම මතක් නොකරට ඔබට හිතා ගන්න පුලුවන් ඇති නෙ. මීට වසර කීපයකට කලින් ඔබ හරි උජාරුවෙන් කතාකරපු සමහර දේවල දැන් ඔබටම අමතක වෙලා...අපි ඒ කතාව පැත්තකින් තියමුකො, මොකද අපි වැඩි දෙනෙකුට කන්න මොනාවහරි ටිකක් අඩුවට ලැබෙනව නම් ලෝකෙට හෙන ගැහුවත් කමක් නෑ නෙ...

අපි කතා කරමින් හිටියෙ ඇමෙරිකාවට එල්ල වුනු ත්‍රස්ථ ප්‍රහාරය සහ වර්තමානයේ ඒ පිළිබඳ මතකයන් ගැන.


ඒ වගේ සිද්ධියකින් පස්සෙ ඇමෙරිකාව වගේ ලෝක බලවතෙක් උනත් වැටෙන එක පුදුමයක් නෙමෙයි, ඒ විතරක්ද, වර්තමානයෙ ඇති වුන ආර්ථික අර්බුදයත් ඇමෙරිකාවට ඉතාම නරක විදියට දැනුනා කියන එක අපි දන්න දෙයක්නෙ.

රටේ පාලක පක්ෂයට කෙසේ වෙතත්, සාමාන්‍ය මිනිස්සුන්ට නම් මේ දේ තදින්ම දැනුන බව නම් රහසක් නෙමෙයි.. පහුගිය කාලෙ ඇමෙරිකාවෙ ජාතික පුවත්පත් බොහොමයක සිරස්තලය වෙලා තිබුනෙ " Tighten your belts " ( ඔබේ පටි තදකරගන්න ) කියන එක. තවත් දහස් ගානකට තමන් කරපු රස්සාව අහිමි වුනා.

හැබැයි කන්න බොන්න සල්ලි නැති උනත් ඇමෙරිකාව එක දෙයක් අමතක කරේ නෑ. වෙනත් රටවල තියෙන සම්පත් සූරා කෑමේ, නූතන යටත් විජිතවාදී ප්‍රතිපත්තිය ඔවුන් නැවැත්තුවෙ නෑ. ලෝකයේ ස්වාධීන රාජ්‍ය ගණනාවකටම තමන්ගෙ යුධ බලය පෙන්වමින් කිසිම පදනමක් නැතිව යුද්ධ කරන්න ඔවුන් අමතක කරේ නෑ. ඔබට මතකද මේ ලෝකෙ ඉරාකය කියල රටක් තිබුන ඉස්සර. දැන් එහෙම එකක් නෑ.


තව උදාහරන නම් ඕන තරම්. (රුසියානු සමූහාණ්ඩුව කියල අති විශාල රටක් තිබුන අතීතයෙ, ඒකට මොකද උනේ කියල දන්නෙ නැත්නම් ඔබ නිදහස් වෙලාවක හොයල බලන්න , ඒ වගේම කොරියාවට සහ ඇෆ්ගනිස්තානයට වෙච්ච දේත් හොයල බලන්න.ඒ වගේම යුද්ධ ඇති උන රටවල් බහුතරයක් පිටුපස ඇමෙරිකාව ඉන්න බවත් මතක තබා ගන්න ). දැන් අලුත්ම කතාව ලිබියාව නෙ. ඒකටත් තව ටික දවසකින් වෙන දේ බලන්න.
අනිත් හැම රටටම බන
කියන ඇමෙරිකාව ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරනව. ඒ ඔවුන් මේ ලෝකෙ අයිතිකාරයො නිසා. මේ ලෝකෙ රටක් තියෙනවද නැද්ද, ඒ රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕනද නැද්ද, ඒ මිනිස්සු කරන්න ඕන මොනවද, කන්න ඕන මොනවද, ඒ රටේ සම්පත් පාවිච්චි කරන්න ඕන කොහොමද, ඒ මිනිස්සු අඳින්න ඕන සරමද කලිසමද ආදී වශයෙන් හැම දෙයක්ම තීරනය කරන්නෙ ඇමෙරිකාව. ඔවුන්ට මේ බලතල කොහෙන් ආවද කියල නම් මම දන්නෙ නෑ. කොහොම හරි වර්තමාන තත්වය ඒකයි. මට ඔබට දෙන්න තියෙන උපදෙස තමයි, ඔබේ දේපල වතුපිටි හරක බාන ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. මොකද ඔබාමා මහත්තයට ඒව ඕන කියල හිතුනොත් ඔවුන් ලංකාව ආක්‍රමනය නොකර ඉන්නෙ නෑ.

මානව හිමිකම් කියන ඒව තියෙන්නෙ ඇමරිකානු පුරවැසියන්ට පමනයි. ඒ නිසා දුප්පත් ඔබ කාමසුඛල්ලිකානු යෝගයෙන් මිදී, මැදුම් පිලිවෙතට එන එක තමයි හොඳ. ඔබට මොන අසාධාරන කම උනත් ඉවසන්න පුරුදුවෙන්න, මොකද ඔබට මානව හිමිකම් කියල දෙයක් නැති නිසා.

වෙන රටක මනුස්සයෙක් තවත් කෙනෙක්ගෙ කකුලක් පෑගුවත් මානව හිමිකම් උල්ලංඝනය වෙනව කියන සුදු මහත්තුරුන්ගෙ රටවල් වල හිර කඳවූරු වල වෙන දේවල් අපි දැක්කනෙ පහුගිය දවස් වල.ඔබ තාම දන්නෙ නැත්නම් මෙ ලිපියෙ අන්තිමට තියෙන ලින්ක් වලට ගිහින් බලන්න.මේ ගැන ලෝකයට කියපු විකිලීක්ස් වෙබ් අඩවියෙ අයිතිකරු අත් අඩංගුවටත් අරගෙන, නමුත් ලංකාව ගැන බොරු කියපු චැනල් 4 එකේ දිව්‍ය පුත්‍රයා තාමත් හොඳින් ඉන්නවා.

අනිත් දේ තමයි මේ බටහිර රටවල් අපේ හිත් වල චිත්‍රයක් මවල තියෙනව.

ලෝක ත්‍රස්ථවාදය කියපු ගමන් අපේ හිතේ මැවෙන්නෙ මුස්ලිම් ජාතිකයෙක්.මොකද්ද මේකෙ පදනම?? ඇමෙරිකානු චින්තනයට වහල් වුනු සමහර මානසික විකෘති සහිත අසහනකාරී පුද්ගලයො කියන කතා මගේ කන් දෙකටම ඇහිල තියෙනව.ඒව මම මෙතන ප්‍රසිද්ධ කරන්නෙ නෑ. මොකද්ද මෙතන වෙන්නෙ? මැද පෙරදිග තියෙන තෙල් සම්පත හොරකම් කරගන්න ඇමෙරිකාවට තියෙන එකම අභියෝගය එහි තිබෙන මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යය. ඇමෙරිකාව කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ හිත්වල මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය පතුරවන එක. මොකද එතකොට ඔවුන් මැද පෙරදිග රටකට තමන්ට කැමති වෙලාවක පහර දුන්නත් කවුරුත් මුකුත් කියන්නෙ නෑ. මොකද මුලු ලෝකෙම හිතන් ඉන්නෙ මුස්ලිම් කියන්නෙ ත්‍රස්ථවාදි කියලනේ. මොකක් හරි බොරු හේතුවක් කියල ඔවුන්ට නිදහස් වෙන්න පුලුවන්. ඊට පස්සෙ ලෝකෙට පේන්න බොරු පරීක්ෂනයක් කරල තමන්ට වාසි විදියට තීරන ගන්නව." නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ."





ඉතින් මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දි මීට අවුරුදු 10කට කලින් වෙච්ච දේ මතක් වෙනකොට පොඩි තිරස්චීන සතුටකුත් හිතට එනව. අපි දන්න විදියට මේවට තමයි දිට්ඨදම්මවේදනීය කර්ම කියල කියන්නෙ.
ඔබ මේ ලිපිය කියවල රස විඳින්න, මම මේක ලිව්වෙ නිකන් ඉන්න බැරි කමට. මොකද ඔබ මේක කියවල මේ අසාධාරනයට විරුද්ධව යමක් කලයුතුයි හිතුවට වැඩක් නැති නිසා. ඒ ඔබ ඇමෙරිකාවෙ බල ලෝභී පාලක පක්ෂයෙ කෙනෙක් හෝ, එහෙම කෙනෙක්ගෙ කවුරුවත් නොවන නිසා. අපිට තියෙන වැඩක් කරගෙන අපි පාඩුවෙ ඉමු, මොකද මේ කතාව අපිට ලොකු වැඩි නිසා.

අපි හැමෝම ඔබාම ව දන්නව,ඒත් ඔබාමා අපි කවුරුවත් ගැන දන්නෙ නෑ..... :))



මේවත් බලන්න
Guantanamo prison

Guantanamo prison_truth revealed

Wednesday, August 31, 2011

වින්දනීය හුදකලාව


මල් සුවඳ රැගෙන එන
හමන මද මුදු සුලඟ
තුරු මුදුන් මත හිඳින
විහඟුන් ගී කියන,
වැටෙන හිරි පොද වැස්ස
කඳුලු බිඳු දිය කරන
මගෙ කනට කොඳුරන්න
වෙර දරන නල රැල්ල

වනු පිනිස මහ පොළොව
වැසි වැටී තෙත බරිත,
සිව් දෙසින් ඇද වැටෙන
අනෝරා මහ වැස්ස

පය තබන මග දෙපස
නෙක පාට මල් පිපෙන
තුරු වියන් රොද බඳින
මේ මගේ ඉඩෝරය....


සිත තුලම ඉපදුන
සිත තුලම මියයන
ඇස් දෙකින් ඉකි බිඳින
හදවතේ විලාපය

ඉරි තැලුන මහ පොළොව
හිරු සමග පෙම් බඳින
දැනෙනමුත් පිපාසය
මේ ඔබේ වසන්තය

මගේ ලොව ඉඩෝරය
ඔබේ ලොව වසන්තය
නොවැටහෙන අරුමැසිය,
ඒ වෙනස දැන නොගෙන
එක මගක යනු කෙලෙස....???



Friday, August 5, 2011

සරසවි සිසුවා හෙවත් නූතන සොල්දාදුවා

මේ අවුරුද්දෙ ඉඳන් සරසවියට ගන්න දරුවන්ට දැරිවියන්ට මොකක්ද පුහුනුවක් දෙන්න යනවයි කියන්නෙ......
හමුදා කඳවුරුවල නෙ ඕක දෙන්න යනවයි කියන්නෙ.... ඒකට හේතුව ලමයි ඔක්කොම එක පාර ගාල් කොරන්න පුලුවන් තැනකට තියෙන්නෙ හමුදා කඳවුරු විතරක් නිසා ලු.
කොහොමින් කොහොම හරි මේ කාරනේ ගැන් කතා බහ කොරන්න මටත් හිතුන නිකන් ඉන්න බැරි කමට.
ඔන්න ඉතින් මම ටිකක් විපරං කොරල බැලුව මොකක්ද මෙ කතාව කියල. රටේ ලෝකෙ ප්‍රසිද්ධ පත්තර පල වෙන දේවලුයි කඩපිල් වල කතා වෙන පච හෑලියි ඇහුනම ඉතින් විවිධ මනෝ රූප මැවෙනව. ඒ මොකක් උනත් ඔය වගේ දේවල් සිද්ද වෙනකම්ම අපි දන්නෙ නෑනෙ මොකද්ද ඇත්තටම වෙන්නෙ කියල.
ඒ නිසා ඉතින් අපිට හිතෙන හිතෙන දේවල් අපි කියනව.
හැබැයි එක දෙයක්.... සරසවියට එන අපේ නංගිල මල්ලිල දන්න විදියට , දැකල තියෙන විදියට කැම්පස් එක කියන්නෙ එකම යුද්ධ පිටියක් නෙ.... ඒ නිසා එයාල කල්පනා කරනව ඇති ඔය කියන විදියට යුධ පුහුනුව දෙන එකත් හොඳයි කියල. හැබැයි අපේ ලොකු උන්නාන්සෙල කියන විදියට නම් මේ දෙන්න හදන්නෙ හරිම හුරතල් පුහුනුවක්. ඒකට කියන්නෙ නායකත්ව පුහුනුව කියල ලු. පේන විදියට නම් නරකම නෑ. නායකත්වය , විනය , සංවරකම වගේ දේවල් සරසවි  සිසුවෙක්ට තිබිය යුතුම ගුනාංග තමයි. ඒත් ඒ වගේ ගතිගුන පුද්ගල මනසක් තුල රෝපනය කරන්න හමුදාව නැතුමව බැරි නම් ඉතින් ඒක ජාතියේ අවාසනාවක්. හමුදාව කියන්නෙ නරක තැනක් නෙමෙයි නෙ. හමුදා කඳවුරක් ඇතුලෙ ඔය පුහුනුව පවත්වන එකේ වැරැද්දක් නෙමෙයි මෙතන තියෙන්නෙ. මේ පුහුනුවෙ අන්තර්ගතය පිලිබඳව මහජනතාවට නිරවුල් අදහසක් නැතිකම.
ඉතින් කරන්න යන දෙයක් අපිටත් කියල කරනවනම් තමයි හොඳ....

මම ඉතින් මෙහෙම අපේ සහෝදර සහෝදරියන්ගෙ පැත්ත අරන් කතාකරාට මොකද, දැන් ඉන්න සරසවි දරුවොත් හැසිරෙන්නෙ හරි අපූරු විදියට නෙ.... පොඩ්ඩ බැරි වෙච්ච ගමන් උප කුලපති ගෙ ඔලුව පලනවට වඩා යමක් හිතාගන්න බැරි සරසවි සිසුන් නෙ දැන් ඉන්නෙ. ඉතින් ඔය වගේ තත්වයක් තුල සරසවි සිසු ප්‍රජාව තුල මීට වඩා විනයක් තිබිය යුතු බව නම් මම විස්වාස කරනව. අනිත් එක, එක වසරෙ ඉඳල එ ලෙවල් පාස් වෙනකම් අපිට නොමිලේ උගන්නල, පොත් ටික නිකම් දීල, ඒ මදිවට ඇඳුම් මහගන්න රෙදිත් දෙන රටක් මම නම් අහලත් නෑ, දැකලත් නෑ.ඒ විතරක්ද කැම්පස් ආවට පස්සෙ මහපොලත් ලැබෙනව නෙ. එහෙම නොවුන නම් අපේ දුප්පත් අම්මට තාත්තට පුලුවන් වෙයිද අපිව මේ තැනට ගේන්න ???? මෙ කිසි දෙයක් අපිට පිනට ලැබෙන දේවල් නෙමෙයි. මේ රටේ වැඩ කරන මිනිස්සු අපි වෙනුවෙන් වියදම් කරන මුදල්.
තරුණ ඔබට -මට , රටේ වැරදි , අඩුපාඩු , අක්‍රමිකතා , දූෂන , වංචා පේනවා. එය එසේ විය යුතුයි. ඒ වැරදි නිවැරදි කරන්න බුද්ධිමත් ඔබට පැහැදිලි ඕනකමක් තියෙන්න ඕන. ඒත් ඔබ ඒ දේ කරන්න යන්නෙ ඔබට සුරංගන ලෝකයක් මවන ඔබේ අසාර්ථක දේශපාලන සහෝදරයා කියන අරුම පුදුම මැජික් බලයෙන් නම් ඔබ තාමත් මේ ලෝකය හරි හැටි දැකල නෑ.
දේශපාලනය ඔබට අවශ්‍යයි, දේශපාලනයට ඔබ අවශ්‍යයි. මොකද මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඔබට උගන්නල තියෙන්නෙ අනාගතේදි මේ රට බාරගන්න ඉන්නෙ ඔබ නිසා. එනිසා නිවැරදි දේ දකින්න. සැබෑ මිතුරන් හදුනාගන්න. සරසවියෙදි ඔබට හොඳ නරක දෙකම මුනගැහෙනව. ඔබේ රට , ඔබෙන් බලාපොරොත්තු වන දේ ලබාදෙන්න.
ඔබේ යුතුකම හඳුනාගන්න, පහසු වැරදි මගට වඩා දුෂ්කර නිවැරදි මග යන්න.

මේ සරල තර්කය තේරුම් ගන්න තරම් ඔබ බුද්ධිමත් නම් මේ රටේ සරසවි සිසුවාට අමුතු පුහුනුවක් ඕන වෙන්නෙ නෑ.

5/8/2011

Wednesday, July 20, 2011

ඇත්තටම අපි කොහෙද???

අද දවස ගැන මොනවද දන්නෙ??? මතක් වෙන්නෙ නෑ නේද විශේෂ දෙයක්, ඔබේ පෞද්ගලික කාරනාවක් තිබුනොත් ඇරෙන්න.... හොඳයි..මම මතක් කරල දෙන්නම්..

අද ක්‍රි.ව. 2011 ජුලි 20 වෙනිද... හරියටම මීට වසර හතලිස් දෙකකට කලින් අද වගේ දවසක ඉතා වැදගත් දෙයක් සිදු උනා.. මානව සංහතිය විශාල ජයග්‍රහනයක් ලැබූ දවසක්.. තාම මතක නෑ නේද?? කමක් නෑ, අමතක වීම මිනිස් ස්වභාවයනෙ...වර්ෂ 1969 අද වගේ දවසක තමයි ප්‍රථම වරට මිනිහෙක් හඳට ගියේ...කතාවෙ වීරයා නීල් ආම්ස්ට්‍රොං උනාට ඒ කතාව අමතක නොකල යුතු කතාවක් උනේ ධෛර්යවන්ත මිනිසුන් පිරිසකගෙ උත්සාහයෙ ප්‍රතිඵලයක් විදියට...

දැන් ඔබ කියයි, "අයියෝ, හඳට යන එක මහ ලොකු වැඩක්ද? දැන් මිනිස්සු අපේ සෞරග්‍රහ මණ්ඩලෙන් එලියටත් යනවනෙ " කියල. ඔව් ඔබ හරි...,හැබැයි අමතක කරන්න එපා එදා අපි හඳට ගියෙ නැත්නම් අද අපිට ඒ ආඩම්බරකාර කතාව කියන්න බැරි වෙන්න තිබුන බොහෝ විට.
මානවයෙක් වශයෙන් ඔබට ඒ පුරසාරම කියවන්න හැම අයිතියක්ම තියෙනවා,මොකද මේ හැම දෙයක්ම අපි ලබාගත්ත ජයග්‍රහන...,අපි සාර්ථක කරගත්ත ඉලක්ක, ඉතින් ඇයි අපිට බැරි ඒ දේවල් ආවර්ජනය කරල සතුටු වෙන්න???

හොඳයි... දැන් මිනිස්සු හඳට ගියෙ ඇයි?? ඇත්තටම කවුද හඳට ගියෙ???
ඇමරිකන් ජාතිකයො දෙන්නෙක් හඳට ගියා... තවත් ඇමරිකානුවො සිය ගනනක් සහ වෙනත් ජාතිකයන් ඉතාම අතලොස්සකගෙ(ඔවුන් කොහෙන් ආවත් වැඩ කරේ ඇමරිකාව වෙනුවෙන්) සාර්ථක වෑයමක් නිසා තමයි අපි අද මේ තරම් ආඩම්බර වෙන්නෙ.දන්නවනෙ ඒ කාලෙ ඇමරිකාව හා රුසියාව අතර ලොකු තරඟයක් තිබුන කියල තාක්ෂනය සම්බන්ධයෙන්... ඒකත් ප්‍රධාන හේතුවක් ඇමරිකාව මේ තරම් ඉක්මනට හඳට යන්න.
ඒ 1969..... දැන් කොච්චර කල්ද??? ඒ කාලය තුල ඒ මිනිස්සුන්ගෙ හැකියාවන් මොන තරම් දියුනු වෙලාද?? මිනිසාගේ කුතුහලය නිසා මිනිස්සු මොන තරම් අලුත් දේවල් හොයාගෙනද??
මේ ලෝකෙ හොඳට හා නරකට බලපාන මොන තරම් දේවල් අපි කරල තියෙනවද??

අපි ටිකක් යථාර්තවාදී වෙලා පිලිගමු අපි කරපු හැම දෙයක්ම සාර්ථක උනේ නෑ කියල. ඇත්තනෙ.. මේ ඉතිහාසයෙ තියෙනව ඕන තරම් අසාර්ථක උන මිනිස් උත්සහයන්.

නමුත්, අසාර්ථක උනත්, අඩුම ගානෙ මිනිහෙක් එහෙම දෙයක් කරන්න උත්සාහ කරා කියල හරි ඉතිහාසයෙ ලියවිල තියෙනව නේද??
මුකුත් නොකර ඉන්නවට වඩා ඒකත් හොඳයි සමහර වෙලාවට...
ඔබට තියෙනව පහුගිය දශක කිහිපය හෝ සියවස තුල මේ ලෝකෙ සිද්ද උන දේවල් ගැන යම් අවබෝධයක්... අඩුම ගානෙ කවුරුහරි කියපු ඕපදූපයකින් හරි ඔබ යමක් දැනගන්නව...











ඔබ මොහොතක් හිතල බලන්න... මගේ රටේ මිනිස්සු මොනවද කරල තියෙන්නෙ කියල... අපි මොකටද ඇමරිකාව හඳට ගියපු එකක් ගැන කියවන්නෙ කියල. ඔබ දන්නව,ශ්‍රි ලංකාව කියන්නෙ මේ ලෝකයෙ දීර්ඝතම ඉතිහාසයක් තියෙන රටවල් අතලොස්ස අතරින් එකක්. පොඩි කාලයක් නෙමෙයි නෙ අවුරුදු          දෙදහස් පන්සීයක් කියන්නෙ...ඒ විතරක් නෙමෙයි රාවණ රජුගෙ පුරාවෘත වසර පන්දහසක් තරම් පැරනියි



ඔබ දන්නව අපේ මිනිස්සු මොනවද කරල තියෙන්නෙ කියල, අනුරාධපුර යුගය,පොලොන්නරු යුගය සහ ඊට පසු කාලවල අඩු වැඩි වශයෙන් උන දේවල් ගැන හැඟීමක් ඔබට තියෙනව. විශ්ෂ්ඨ වාරි ඉන්ජිනේරු තාක්ශනය, ගොඩනැගිලි, දාගැබ් ඉදිකිරීමෙහිලා දැක්වූ විශිෂ්ඨ සිවිල් ඉන්ජිනේරු හැකියාව, සීගිරිය, අද දක්වා පවතින අග්‍රගන්‍ය කලා නිර්මාණ, බිතු සිතුවම්, රචනා වූ විශිෂ්ඨ ග්‍රන්ථ,බෞද්ධ අධ්‍යාපනය,පිරිවෙන් ආශ්‍රිත සාහිත්‍ය සහ තවත් බොහෝ දෑ....ශ්‍රී ලංකාව කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨ දැනුම් කේන්ද්‍රස්ථානයක්...


අපි මේව දන්නවනෙ... පොඩි කාලෙ ඉඳන් ඉස්කෝලෙ උගන්නන්නව නෙ,නේද ??? ඔව්,මම දන්නව.මොකද මමත් ඉස්කෝලෙ ගිහින් තියෙනව නෙ..
කොහොමද අපිට ඉස්කෝලෙ උගන්නන්නෙ?? මතක් කරගන්නකො.."ළමයි, අපේ රට ඉස්සර ගොඩක් දියුනු රටක්. දියුනු තාක්ශනයක් තිබිල තියෙනව, යුධ බලය අතින් ඉතාම ඉහලයි,දක්ශ රජවරු රට පාලනය කරල තියේනව, ස්වයංපෝශිතයි...."ආදි වශයෙන් නානාප්‍රකාර දේවල් උගන්නන්නව. අපිත් ඉතින් කට ඇරගෙන අහන් ඉන්නව ගුරුතුමියගෙ රසවත් කතාව.
රාවණ සහ දඬුමොණරය


ඔබට ඒ කාලෙ ඊට වඩා යමක් නොහිතුනා වෙන්න ඇති... අපි පොඩියි නෙ ඒ කාලෙ..
නමුත්, අඩුම ගානෙ ඔබට දැන්වත් හිතෙන්නෙ නැද්ද අපි ඒ කාලෙ ඉගෙනගත්ත ඉතිහාසය පාඩම තුල ඉතාමත් ඛේදනීය අවසානයක් තියෙනව කියල...ඔබ දකින්නෙ නැතුව ඇති... මොකද අපි ඒ කාලෙ ඉගෙන ගත්තෙ ඕ ලෙවල්, ඒ ලෙවෙල් පාස් වෙන්න මිසක් ඕව ඇතුලෙ තියෙන කතා බල බල ඉන්න නෙමෙයි නෙ...
ඔබේ පැත්තෙන් ඔබට වරදක් කියන්නත් බෑ...කමක් නෑ...
මම දන්නව දෙමව්පියන්, ගුරුවරු ලමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල... ඒ නිසා ඔබ ඉතිහාස පාඩම ගැන ගැඹුරට හිතුවෙ නැති උනාට කිසිම වරදක් නෑ...මොකද එහෙම හිතන්නෙ නැතුව උනත් ඔබට ඔබේ දෙමව්පියො,ගුරුවරු සතුටු කරල හොඳ ලමයෙක් වෙන්න පුලුවන් නිසා...





නමුත් ඔබ කවද හරි වැඩිහිටියෙක් වෙනව.. ඒ විතරක් නෙමෙයි, වැඩිහිටි ශ්‍රී ලාංකිකයෙක් වෙනව. අන්න ඒ දවසට ඔබට දැනෙයි ඔබගෙ යම් අඩුපාඩුවක් තියෙනව කියල... ඔබ ඔබේ වටපිටාව ,අවට ලෝකය ගැන සංවේදී නැත්නම් ඔබට එහෙම දැනෙන එකක් නෑ... එහෙම නම් ඔබ කාලය නාස්ති කරගෙන මේ සටහන කියවන එකේ තේරුමක් නෑ....

ඔබ බුද්ධිමත් නම් ඔබට යම් වැටහීමක් තියෙන්න ඕන වසර 300ක වත් ඉතිහාසයක් නැති ඇමරිකාව හඳට යනකොට වසර දෙදහස් පන්සියයකට වැඩි වර්ණවත් ඉතිහාසයක් තියෙන අපිට තාම පොඩි හෙලිකොප්ටරයක්වත් හදාගන්න බැරි වෙලා තියෙන්නෙ මොකද කියල.....
ඇමරිකාව කියල රටක් මේ ලෝකෙ තිබුනෙවත් නැති කාලෙ අපි කරපු දේවල් එක්ක බැලුවම ඔබට පුලුවන්ද ඔබ අද ජීවත් වෙන රට ගැන සතුටු වෙන්න???

දැන් ඔබට සාධාරන දේශප්‍රේමී සැකයක් මතු වෙන්න පුලුවන් මේ බ්ලොග් එකේ අයිතිකාරයා  බටහිර බලවේග වලට යටවෙලා ඇන්.ජී.ඕ. සල්ලි වලට කඩේ යනවද කියල....බය වෙන්න එපා..
මට ආදායමක් කියල තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් දෙන මහපොල විතරයි...



අපිට කොතනද වැරදුනේ ??? මම එහෙම ඇහුවොත් ඔබට පුලුවන්ද නියමිත දවසක් , වෙලාවක් දෙන්න??
මම දන්නෙත් නෑ.. නමුත් අපි ඒක හොයන්න ඕන. එහෙම නැතුව ඔබ හිතනවනම් හාස්කමකින් හෝ අඓශ්චර්‍යක් සිද්ධ වෙලා මේ රට දියුනු වෙයි කියල.., ඔබ තවමත් නිදිමතේ ඉන්නෙ.. නැගිටින්න, දැන් එලි වෙලා...
ඇස් ඇරල බලන්න ඔබ ජීවත් වෙන රටේ මොනවද වෙන්නෙ කියල..
ඔබට හිතෙන්නෙ නැද්ද අපේ කොන්ද කඩලා දැම්මෙ වෙන කවුරුත් නෙමෙයි වසර ගනනක් අපිව යට කරගෙන ඉඳපු බටහිර ජාතීන් කියල...?? මට එහෙම හිතෙනව....
මම එහෙම කියන්නෙ ඔවුන්ගෙ වර්තමාන දියුනුව දිහා බලන් ඉන්න බැරි කුහක කම නිසා නෙමෙයි...මට එහෙම හිතෙන්න සාධාරන හේතු තියෙනව.
ආපහු යමු ඉතිහාස පාඩමට... අපිට කියල දීල තියෙන්නෙ උන් ආවෙ වෙළඳාම් කරන්න කියලනෙ... ඔව්.. වෙන්න පුලුවන්... මුලදි ඔවුන්ගෙ අරමුන ඒක වෙන්න ඇති පැහදිලිවම...
නමුත් අවසාන කාලය වෙනකොට, මම මේ කියන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙ අවසාන භාගය ගැන...ඔවුන් තේරුම් ගන්නව ආසියානු කලාපයෙ හා ඔවුන් යටත් කරගෙන ඉඳපු අනෙක් බහුතරයක් රටවල්වල නියම වටිනාකම...  ඒ වටිනාකම තේ දලු ටිකක් හෝ කුරුඳු ටිකක් නැවකට පටවල ගන්න ලාභයට වඩා ගොඩක් දුර ගිය වටිනාකමක්... ඔවුන් තේරුම් ගන්නව මේ රටවල් වල තිබුන ඉතිහාසය, ඔවුන් කරපු විශ්මිත නිර්මාන... ඒ වගේම ඔවුන් තේරුම් ගන්නව මේ රටවල් වලින් වෙලඳ ලාභය විතරක් අරන් ගියොත් නැවතත් කවද හරි මේ රටවල් නැගිටිනව,මොකද මේ රටවල මිනිස්සු හරිම බුද්ධිමත්...
ඒකට ගන්න පුලුවන් විකල්පය ඔවුන් ගත්තා..අපේ මිනිස්සුන්ගෙ තිබුනු එකම දුර්වලකම ප්‍රයෝජනයට ගත්තා.. අපිව රවට්ටල අපිට විකෘති උන සංස්කෘතියක් දීල උන් යන්න ගියා...උන්වත් පිලිගන්නෙ නැති නීති පද්ධතියක් හා සංස්කෘතික සීමා නිර්මානය කරා අපේ සමාජයෙ...

මේ කියන දේවල් ඇත්තද කියල ඔබත් හිතල බලන්න... අතීත ශ්‍රි ලංකාවෙ තිබුන නිදහස් චින්තනය සම්පූර්නයෙන්ම නැති කරල දැම්ම. මිනිහෙක්, සමාජ සම්ප්‍රදාය කියල පිලිගත්ත, හරසුන්  රාමුවට පිටින් හිතන්නවත් බය උනා.. මොකද බහුතරයක් වන සමාජයෙන් වන ලැජ්ජාවට බයේ... අපි අපිට නොපෙනෙන සංස්කෘතික රාමුවක් තුල කොටු කරලයි සුද්දො යන්න ගියෙ...(අමතක කරන්න එපා, ඇමරිකාවට ගියෙත් බ්‍රිතාන්‍යට උරුමකම් කියන පිරිසක් බව..)
ඔවුන් අපේ චින්තනය එහෙම කූඩු කරාට තමන්ගෙ රටේ මිනිස්සුන්ට උපරිම නිදහස දෙනව..ඔවුන් තමන්ට කැමති කැමති විදියට හිතනව... අලුත් විදියට හිතනව...අලුත් දේවල් කරනව... තර්කය පැහැදිලියි...
අපි කියනව උන්ගෙ සංස්කෘතිය, සදාචාරය අන්තිමයි,ගන්න දෙයක් නෑ කියල... ඔව් ඇත්ත.. ඔවුන්ගෙ සමාජයෙ තියෙන නිදහස යම් දුරකට අනවශ්‍ය ලෙස පාවිච්චි වෙනව..(නමුත් එක වැරදියි කියන්න මටවත් ඔබටවත් බැ. මොකද අපි හිතන්නෙ අපිට උගන්නල තියෙන විදියට .  )

අපේ රට තව හොඳයි... ඉන්දියාව වගේ රටක් ගත්තොත් තත්වය මීට වඩා බරපතලයි...

ජනගහනයෙන් චීනයට පමනක් දෙවනි වෙලත්, තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්.ඒ විතරක් නෙමෙයි, මුලු ජනගහනයෙන් අති මහත් බහුතරය දුගී බවේ කිමිදිලා... මේවට හේතු තියෙනව. ඔබ දන්නවනෙ ඉන්දියාවෙ සංස්කෘතිය??? සති පූජාව තවමත් තියෙනව... ඔබ විශ්වාස කරනවද,තාමත් ඉන්දියාවෙ ළමා විවාහ සිද්ද වෙනව, බිලි පූජා කරනව...
ඉන්දියාව කියන්නෙ නූගත් රටක් නෙමෙයි... ඉතා දියුනු ශිෂ්ටාචාර පැවතුනු අති විශාල රටක්...
නමුත් ඔවුන්ට ඔවුන්ගෙ චින්තන රටාවෙන් ගොඩ එන්න බෑ...


මේ බටහිරයන් විසින් අපිට ආරෝපනය කරපු සිතුවිලි....
මෙතන ඔබ වරදවා වටහා ගන්න එපා මේ හැම දෙයක්ම එංගලන්තෙන් ගෙනල්ල අපිට දුන්න කියල.මේව අපි අතරෙ තිබුන.නමුත් අපිට ඒකෙන් මිදෙන්න බැරි වීමට ඔවුන් හේතු උනා කියලයි මම කියන්නෙ.

උදාහරන නම් ඕන තරම්...
අපේ රටේ ඉන්නවනෙ නව නිපැයුම්කරුවො කියල කට්ටියක්... බටහිර රටවල ළමයි, තරුණයො අධි තාක්ශනික සොයා ගැනීම් හා නිපැයුම් කරද්දි අපෙ අය හොයාගන්නෙ හොඳට පොල් ගාන්න පුලුවන් හිරමනයක් හරි එක පාර වතුර ගොඩක් අදින්න පුලුවන් පනිට්ටුවක් වගේ දෙයක්... ඒව වැදගත්..නමුත් අපි ඒව විතරද කරන්නෙ?? මීට වසර ගනනාවකට පෙර අපෙ රටේ කරපු දේවල් එක්ක අපිට වර්තමානයෙ සතුටුවෙන්න පුලුවන්ද හිරමනයක් හෝ පනිට්ටුවක් දිහා බලල???
මේක ලොකු ගැටලුවක්...!!!
මම ඔබට යෝජනා කරන්නෙ මේ හරසුන් රාමුවෙන් එලියට යන්න... ඔබ ජීවත් වෙන සීමාවෙන් එලියෙත් ලෝකයක් තියෙනව... ඔබ සොයන දේ එහි තියෙන්න පුලුවන්...
යල් පැන ගිය මතවාදවලට හෝ ඔබගේ ගැලවුම්කරුවාගේ චින්තනයට වහල් වෙන්න එපා...ඔබ ඒ සියල්ලටම වඩා ශක්තිමත්.. ඒ ශක්තියට ඉඩ දෙන්න.ඔබේත්, මගේත්,අපි සැමගේත් යහපත වෙනුවෙන්...අලුත් විදියකට හිතන්න...
සමහර විට ඔබට වරදියි... පරාජයට බය වෙන්න එපා...
මොකද 1969 ජීවත් උන ඇමරිකන්කාරයො අලුත් විදියට හිතුවෙ නැත්නම් ඔබ තාමත් හිතන් ඉන්නෙ හඳේ හාවෙක් ඉන්නව කියල....

Sunday, July 17, 2011

අපි කොහෙද ???

ඉතින් කොහොමද ???
සෑහෙන කාලෙකින්නෙ දැක්කෙ...
ජීවිතේ අවිවේකී බව නිසා අඩුම ගානෙ මෙහෙම වෙබ් පිටුවක් තියෙනව කියලත් අමතක උනා...
කියන්න දේවල් නම් බොහොමයි, කොහෙන් පටන්ගන්නද කියලවත් හිතාගන්න බෑ..

පහුගිය දවස් වල මෙහේ ගොඩක් දේවල් සිද්ධ උනා... අපේ විශ්ව විද්‍යාල පද්ධතිය අවුල් වෙලා. වෙලා කිව්වට ඉතින් ඉබේ වෙන්නෙ නෑ නෙ.. කවුරුහරි එහෙම කරල. කොහොම නමුත් මේ ගැන අපි සංවාදයක් කල යුතු කාලය ඇවිල්ල... වරද කාගෙද කියල හොයනවට වඩා මම පෞද්ගලිකව අගය කරන්නෙ වරද කොතනද කියල හොයල ඒක නිවැරදි කරනවටයි...


අපි කලින් කතා කරපු හමුදා පුහුනුව නම් දැන් ඉවරයි...ඒක කට්ටිය කියපු තරම් නරක එකක් නෙමෙයි... මගේ යාලුවො බොහොම සතුටින් සති තුනක් ගත කරල ඇවිල්ල තිබුන... මම හැමදාමත් කියන්නෙ ඒකයි.. යම් දෙයක් දිහ පිටින් බලල හෝ වෙන කෙනෙක්ගෙ මතවාදයක් තුලින් ලෝකය දිහා බලල නිවැරදි තීරන ගන්න බෑ.


ඒ විතරක් නෙමෙයි... මේ දවස් වල නිතර ඇහෙන , නිතර දකින මාතෘකා අතරෙ විදේශීය කුමන්ත්‍රන, බලවේග,පෞද්ගලික විශ්වවිද්‍යාල, විදේශීය සිසුන්, බෑන් කී මුන්, දරුස්මාන් , චැනල් 4,ආසනික්, කල් ඉකුත් වූ පෙට්‍රල් එහෙම හරි ප්‍රසිද්ධයි නෙ.. මේ හැම වචනෙකම හුදෙක් ප්‍රවෘත්තිමය වටිනාකමින් ඔබ්බට ගිය ජාතික ගැටලුව රැසක් ගැබ් වෙලා තියෙනව. මේ දේවල් රටේ පාලකයන්ට හා මාධ්‍යවේදීන්ට පමනක් සීමා වුනු වචන ගොන්නක් විය යුතු නෑ. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබටත් මටත් අපි හැමෝටමත් එක සමාන වගකීමක් තියෙනව. ඔබ ඒ වගකීමෙ ඔබේ කොටස හරියට ඉටු කරයි කියන ප්‍රගතිශීලි බලාපොරොත්තුව මා තුල තියෙනව.


ඔබටත් මේ සිද්ධි සමුදාය තුල තේරෙන යමක් ඇති... ඔබට දැනෙන යමක් ඇති... අන්න ඒ දැනෙන සිතුවිල්ලට ඉඩහසර සලසන්න ඔබගේ කමෙන්ටු ගොඩක් වැදගත්... බුද්ධිමත් කතිකාවකට පාර කියන්න, ඔබේ කාරුනික දායකත්වය ලබා දෙන්න

අපි මේ හැම දේ ගැනම විස්තරාත්මකව හා විචාරාත්මකව කතා කරමු.... දැනට නවතින්නම්...නිවැරදිව සිතන්න. නිවැරදිව දකින්න...